ගුරුවරියකට පහරදුන් ගුරුවරියකට අත්හිටවූ සිර දඬුවම් හා දඩ


කොසු මිටකින් සහ කුඩයකින් පහර දී ගුරුවරියකට තුවාල සිදු කළ බවට  අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින  ගුරුවරියක් එකී චෝදනාවට වරදකාරිය බවට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී. එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ මහත්මිය  තීන්දු කළාය.

ඒ අනුව විත්තිකාර ගුරුවරියට  මාස හයක සිර දඬුවම් නියම කර එම සිර දඬුවම වසර පහකට අත් හිටුවීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත් සමරසිංහ මහත්මිය ඊට අමරව රුපියල් එක් දහස් පන් සියයක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකාර ගුරුවරියට  නියෝග කළාය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය විත්තිකාර ගුරුවරියට තවදුරටත් නියෝග කළේ පැමිණිළිකාර ගුරුවරියට මුදලින් රුපියල් තිස් දහසක වන්දියක් ද ගෙවන ලෙසයි. ගුරුවරියකට කොසු මිටකින් සහ කුඩයකින් පහර දී තුවාල සිදු කළ බවට  මෙසේ අධිකරණය හමුවේ වරදකාරියක වී මෙසේ දඬුවම් නියම වූයේ  මිහින්තලේ කන්නට්ටිය ගල්වල හංදිය පදිංචිකාරියක වන  ජී. එම්. කේෂජමාලා නැමති 54 හැවිරිදි පාසල් ගුරුවරියකි.

2021 වසරේ සැප්තැම්බර් මස 30 වන දින මිහින්තලේ කන්නට්ටිය පදිංචි 59 හැවිරිදි ගුරුවරියක වන සී. එම්. නන්දනී යන අයගේ නිවසට ඇතුළුවී  කොසු මිටකින් සහ කුඩයකින් එම ගුරුවරියට පහර දී තුවාල සිදු කළ බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 434 සහ 314 සහ 316 යන වගන්ති ප්‍රකාරව විත්තිකාර ගුරුවරියට එරෙහිව මිහින්තලේ පොලීසිය අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ .

විත්තිකාර ගුරුවරියගෙන් පහර කෑමට ලක් වූ ගුරුවරිය මිහින්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය. පැමිණිලිකාර ගුරුවරියගේ ගෙවත්තේ ඇති පාළු ළිඳකට  වල් ඌරන් දෙදෙනකු වැටී මිය ගොස් දුගඳ හමන බව පවසමින් බැණ වැදී පසුව ගැටුමක්  ඇති කර ගෙන විත්තිකාර ගුරුවරිය  මෙම පහරදීම් සිදු කර ඇති බවද අධිකරණ නඩු විභාගයේ දී හෙළි විය.

මෙම නඩුවේ මූලික විභාගය පැවැත්වූයේ අනුරාධපුර පූර්වගාමී අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මියයි. පැමිණිල්ල වෙනුවෙන් මිහින්තලේ පොලීසියේ ස්ථානාධිපති රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත සැරයන් හේරත් මහතා පෙනී සිටි අතර විත්තිකාර ගුරුවරිය වෙනුවෙන් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටියේය.්‍

අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද
 

 



Recommended Articles